fbpx

Dynamic Processing – තෙවන කොටස : කම්ප්‍රෙසර් වල සැකසුම් සහ භාවිතයන්

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Dynamic Processing – තෙවන කොටස : කම්ප්‍රෙසර් වල සැකසුම් සහ භාවිතයන්

June 14, 2018 Audio Engineering Concepts Dynamics 0

 

පසුගිය ලිපියෙන් අපි කතා කලේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රධාන සැකසුසංගීත නිර්මාණ වලදී නිතරම භාවිතා වන මෙවලමක් වන කම්ප්‍රෙසර් වල මූලික සැකසුම් කිහිපයක් ගැනයි. එහි ඉතිරි සැකසුම් කිහිපය සහ ප්‍රායෝගික භාවිතයේදී වැදගත් වන කරුණු කිහිපයක් ගැනයි අද ලිපිය වෙන් වන්නේ. ඒ නිසා කම්ප්‍රෙසර් වල මූලික කරුණු ගැන අවබෝධයක් ලබාගන්නට නම් මේ ලිපියට පෙර පසුගිය ලිපිය කියවා බැලීම වඩාත් සුදුසුයි.

කම්ප්‍රෙසර් එකක මුලික කාර්යය වන්නේ dynamic range එක, එනම් ශබ්ද තරංගයක වඩාත්ම මෘදු හා වඩාත්ම උස් හඬ සහිත ස්ථාන අතර ධ්වනි තීව්‍රතා වල පරතරය අඩු කිරීම. මෙය සිදුවන්නේ ශබ්ද තරංගයේ තීව්‍රතාව වැඩි ස්ථාන පමණක් තෝරාගෙන එම අවස්ථාවල පමණක් තීව්‍රතාවය අඩු කිරීම මගින්. මෙහිදී තරංගයක තීව්‍රතාව දී ඇති මට්ටමකින් ඉහලට යන අවස්ථා වලදී පමණක් එහි තීව්‍රතාවය මදක් අඩු කිරීම සිදු වෙනවා. කම්ප්‍රෙසර් වල මේ සඳහා විවිධ සැකසුම් දක්නට ලැබෙනවා.

  • Threshold
  • Ratio
  • Attack Time
  • Release Time
  • Make-Up Gain
  • External Side-Chain Input
  • Side-chain Filters
  • Look-Ahead
  • Knee Control

මේ අතුරින් Threshold, Ration, Attack Time සහ Release Time යන සැකසුම් පිළිබඳව අපි පසුගිය ලිපිය තුල විස්තර කළා. අනෙකුත් සැකසුම් වල ක්‍රියාකාරීත්වය ගැන අපි දැන් සොයා බලමු.

 

Make-Up Gain

කම්ප්‍රෙසර් එකක් මගින් ශබ්ද තරංගයේ තීව්‍රතාව වැඩි ස්ථාන තෝරාගෙන එම අවස්ථාවල තීව්‍රතාවය අඩු කිරීම නිසා තරංගයේ සමස්ථ තීව්‍රතාවයේ අඩු වීමක් බොහෝවිට දකින්නට ලැබෙනවා. මේ සංසිද්ධිය සඳහා හානිපුරණයක් ලෙස තීව්‍රතාව වැඩි කිරීම තමයි Make-up Gain මගින් සිදුවන්නේ. මෙය කම්ප්‍රෙසර් උපකරණයේ රාජකාරියේ අවසන් අවස්ථාවේදී amplifier එකක් මගින් කම්ප්‍රෙසර් එකෙන් පිටවන තරංගයේ තීව්‍රතාව මදක් වැඩි කිරීමකට සමානයි.

 

Look-ahead

තාල වාද්‍ය භාණ්ඩ වලින් නිකුත් වන හඬ වැනි ක්ෂණිකව ඇති වී නැති වී යන ශබ්ද (Transients) හඳුනාගැනීමට සමහර අවස්ථා වලදී කම්ප්‍රෙසර් වලට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හේතුවෙන් එවැනි  හඬවල් කම්ප්‍රෙසර් එක මගහැර යාමට සමත් වෙනවා. මේ ගැටලුවට විසඳුමක් ලෙස Transient හඬවල් කම්ප්‍රෙසර් එකේ gain controller කොටසට ලඟා වීමට සුළු මොහොතකට පෙර sidechain කොටසට යැවීමට භාවිතා කරන උපක්‍රමයක් තමයි look-ahead ලෙස හැඳින්වෙන්නේ. මෙහිදී සිදුවන්නේ කම්ප්‍රෙසර් එකේ gain controller කොටසට යන තරංගය ඉතා කුඩා කාලයකින් (සාමාන්‍යයෙන් මිලි තත්පර 4ක් පමණ) ප්‍රමාද කිරීමයි.

Look-ahead උපක්‍රමය තුල gain controller කොටසට යන තරංගය ප්‍රමාද කිරීම

මේ ක්‍රියාවලිය හරහා side-chain කොටසට එන තරංගයේ ඇති transient හඬවල් සාමාන්‍ය වේලාවට මදක් කලින් ග්‍රහණය කරගැනීමට හැකි වන නිසා එවැනි හඬවල් වලට ඉක්මණින් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ලැබෙනවා. මේ හරහා සිදුවන සුළු ප්‍රමාදය ගීතයක රිද්මයට බලපෑම් කිරීමේ ඉඩ නොගිණිය හැකි තරම් අඩු නමුත්, snare-top / snare-bottom වැනි එකම ආකාරයේ තරංග කිහිපයක් යෙදෙන අවස්ථා වලදී තරංගයේ කලාව( phase) ආශ්‍රිත ගැටළු ඇති වීමේ සුළු ඉඩකඩක් පවතිනවා.

 

Knee Control

කම්ප්‍රෙසර් එකක් ක්‍රියාත්මක නොවන විටදී, නැතිනම් තීව්‍රතාවය අඩු කිරීමක් සිදු නොවන අවස්තාවකදී (තරංගයේ තීව්‍රතාව threshold අගය ඉක්මවා නැති විට) එය ක්‍රියාත්මක වන්නේ 1:1 ratio අගයක් සහිතවයි. වෙනත් ආකාරයකින් විස්තර කලොත්, කම්ප්‍රෙසර් එක තුළට එන තරංගය කිසිදු අඩු කිරීමකින් තොරව පිට කිරීම සිදු වෙනවා. මෙම අවස්තාව Unity Gain අවස්තාවක් ලෙස හැඳින්වෙනවා.

Knee control සැකසුම මගින් සිදුවන්නේ තරංගය threshold අගය ඉක්මවා යාමත් සමග මේ unity gain, නැතිනම් 1:1 ratio අවස්ථාවේ සිට අපි ලබා දී ඇති ratio අගය දක්වා මාරු වීම කෙතරම් සුමට ලෙස සිදුවනවාද යන්නයි. උදාහරණයක් ලෙස 10:1 ratio අගයක් සහ -15dbFS threshold අගයක් ලබා දී ඇති කම්ප්‍රෙසර් එකක් එහි තරංගය -15dbFS ඉක්මවන විට ratio අගය 1:1 සිට 10:1 දක්වා මාරු වීම සිදුවන ආකාරය knee control සැකසුම මගින් පාලනය කෙරෙනවා.

මීට අදාළ ප්‍රධාන සැකසුම් 2ක් දක්නට ලැබෙනවා. ඒ Hard Knee සහ Soft Knee ලෙසයි. කම්ප්‍රෙසර් එකක් hard knee ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන විට ratio අගයේ මාරු වීම ක්ෂණිකව සිදුවන අතර soft knee ක්‍රමය යටතේ ratio අගය 1:1 සිට ක්‍රමානුකූලව වැඩි වී දී ඇති අගය කරා එළැඹීම සිදුවනවා. උදාහරණයක් ලෙස ඉහත කී 10:1 ratio අගයක් සහ -15dbFS threshold අගයක් ලබා දී ඇති කම්ප්‍රෙසර් එක hard knee ක්‍රමය යටතේ 1:1 සිට 10:1 දක්වා ක්ෂණිකව මාරු වීමත්, soft knee ක්‍රමය යටතේ ratio අගය 1:1 සිට ක්‍රමානුකූලව වැඩි වී 10:1 කරා එළැඹීමත් සිදුවනවා.

Hard Knee සහ Soft Knee අතර වෙනස

soft knee ආකාරයට ක්‍රියාත්මක වන කම්ප්‍රෙසර් එකක් තරංගය threshold අගයට එළඹීමට පෙර සිටම  තීව්‍රතාවය අඩු කිරීම ආරම්භ කිරීම මෙහි ඇති විශේෂ ලක්ෂණයක්. බොහෝ කම්ප්‍රෙසර් වල hard knee සහ soft knee අතර මාරු වීම සඳහා ස්විචයක් තිබෙන නමුත් සමහර අවස්ථා වල knee control සැකසුම ඩෙසිබල් අගයකින් ලබාදෙන ආකාරය දක්නට ලැබෙනවා. එවැනි අවස්තාවක එම ඩෙසිබල් අගයෙන් කියවෙන්නේ ratio අගය 1:1 සිට අදාළ අගය දක්වා වැඩිවීම සිදුවිය යුත්තේ තරංගයේ ඩෙසිබල් කීයක විචලන පරාසයක් තුලද යන්නයි. එවිට එම පරාසය වැඩි වන විට කම්ප්‍රෙසර් එක soft knee ආකාරයට ක්‍රියාත්මක වන අතර එම පරාසය අඩු වන විට hard knee ආකාරයට ක්‍රියාත්මක වේ.

බොහෝ කම්ප්‍රෙසර් ක්‍රියාත්මක වන සාමාන්‍ය ක්‍රමය වන්නේ hard knee ක්‍රමයයි. ගීතයක කටහඬ වැනි කම්ප්‍රෙසර් එකක බලපෑම අඩුවෙන් දැනෙන ආකාරයට සකසා ගැනීමට අවශ්‍ය වන අවස්ථා වලදී එය soft knee වලට මාරු කිරීම සිදු කෙරෙනවා.

 

External Side-chain Input

අපි පසුගිය ලිපියේ කම්ප්‍රෙසර් එකක side-chain කොටස හඳුන්වා දෙන තැනදී සඳහන් කළා සුලභ භාවිතයේදී  sidechaining ලෙස හැඳින්වෙන්නේ කම්ප්‍රෙසර් සම්බන්ධ වෙනත් තාක්ෂණික උපක්‍රමයකට බව. External Side-chain Input සැකසුම හරහා තමයි ඒ කාර්යය සිදුවන්නේ.

සාමාන්‍ය අවස්තාවකදී සංගීත භාණ්ඩයකට අදාළ channel එකක් මත යොදන කම්ප්‍රෙසර් එකක් වැඩ කරන්නේ අදාළ සංගීත භාණ්ඩයේ තීව්‍රතාවයේ වෙනස්වීම් වලට අනුවයි. උදාහරණයක් හැටියට බේස් ගිටාරයකට යොදන කම්ප්‍රෙසර් එකක් ක්‍රියාත්මක වන්නේ බේස් ගිටාරයේ තීව්‍රතාවයේ වෙනස්වීම් වලට අනුවයි. නමුත් සමහරක් අවස්ථා වල යම්කිසි සංගීත භාණ්ඩයක් සඳහා යොදන කම්ප්‍රෙසර් එකක් වෙනත් සංගීත භාණ්ඩයක ශබ්දයේ තීව්‍රතාවයට අනුව හැසිරවීමේ අවශ්‍යතාවය ඇති වෙන්න පුළුවන්.

එවැනි අවස්ථාවකට හොඳම උදාහරණයක් තමයි Kick drum එකක ශබ්දය බේස් ගිටාරයක ශබ්දය මගින් තරමක් දුරට වැසී යන අවස්තාව (kick drum සහ bass guitar යන දෙකෙහිම හඬ ආසන්න සංඛ්‍යාත පරාස වල පිහිටීම නිසා).මෙවැනි විටෙක kick drum එකේ ශබ්දය ඇති අවස්ථා වල පමණක් බේස් ගිටාරයේ හඬ මදක් අඩු කරගැනීමට හැකි නම් ඒ ගැටලුව විසඳීමේ හැකියාව තිබෙනවා. මේ කාර්යය ඉටු කරගැනීම සඳහා  කම්ප්‍රෙසර් එකක External Side-chain පහසුකම උපයෝගී කරගන්න හැකියාව තිබෙනවා.

External Side-Chain වල ක්‍රියාකාරීත්වය

External Side-chain හරහා සිදුවන්නේ සාමාන්‍යෙන් කම්ප්‍රෙසර් එකක sidechain කොටසට යැවෙන ආදාන තරංගය (Input Signal) වෙනුවට වෙනත් පිටස්තර තරංගයක් යැවීමයි. එවිට කම්ප්‍රෙසර් එක එය තුලට එන තරංගයේ තීව්‍රතාව අඩු කිරීම සිදු කරන්නේ එම පිටස්තර තරංගයේ වෙනස්වීම් වලට අනුවයි. ඉහත උදාහරණයට අනුව බේස් ගිටාරයට යොදන කම්ප්‍රෙසර් එකේ External Side-chain Input එක හැටියට kick drum එකෙහි තරංගය යැවූ විට කම්ප්‍රෙසර් එක kick drum තරංගයේ තීව්‍රතාවය වැඩි වන විට බේස් ගිටාරයේ තීව්‍රතාවය අඩු කිරීම සිදු කරනවා. ඒ අනුව kick drum එක වාදනය වන විට බේස් ගිටාරයේ හඬ මදක් අඩු වීම සිදු වනවා.

ගායන ශිල්පීන්ගේ කටහඬ ඇසෙනා අවස්ථාවල පසුබිමින් ඇති සංගීතය මදක් අඩු කිරීම සහ EDM වැනි සංගීත ශෛලීන් වල kick drum හඬ වඩාත් ඉස්මතු කිරීම වැනි දේ සඳහා External Side-chain Input බහුලව භාවිතා වනවා. කම්ප්‍රෙසර් ආශ්‍රිතව වැඩිපුර කතාබහට ලක් වුණත් External Side-chain පහසුකම Gates, Expanders, Duckers වැනි වෙනත් ඩයිනැමික් ප්‍රොසෙසර වලත් දක්නට ලැබෙනවා.

Side-chain Filters

ඇතැම් කම්ප්‍රෙසර් වල ඇති මේ සැකසුම මගින් සිදුවන්නේ ඉහත කී External Side-chain Input එක හරහා එන තරංගයේ අපට අවශ්‍ය සංඛ්‍යාත අඩු වැඩි කොට වෙනස් කිරීමේ හැකියාව ලබාදීමයි. මෙය External Side-chain Input එක හරහා එන තරංගයට EQ එකක් යෙදීමට සමාන ක්‍රියාවලියක්. මේ හරහා එක් සංගීත භාණ්ඩයකට යොදන කම්ප්‍රෙසර් එකක් වෙනත් සංගීත භාණ්ඩයක ශබ්දයේ නිශ්චිත සංඛ්‍යාත පරාසයක පමණක් තීව්‍රතා විචලනයන්ට අනුව හැසිරවීමේ හැකියාව ලැබෙනවා.

 

කම්ප්‍රෙසර් වල භාවිතයන්

සංගීත නිර්මාණ වල ශබ්ද පරිපාලනයේදී වගේම සජීවී ශබ්ද පරිපලනයෙදීත් විවිධ කාර්යයන් සඳහා කම්ප්‍රෙසර් භාවිතා වෙනවා. ඉන් කිහිපයක් ගැන අපි දැන් සොයා බලමු.

  • ධ්වනි තීව්‍රතා මට්ටම් තුලනය කිරීම (Balancing Levels)

කම්ප්‍රෙසර් වල සුලභ භාවිතයක් තමයි මේ. විවිධ සංගීත භාණ්ඩ විවිධ ආකාරයට තීව්‍රතා වෙනස්වීම් පෙන්වන අවස්ථා වලදී එම විචලනයන් සමතුලිත කරගැනීමට කම්ප්‍රෙසර් හරහා හැකියාව ලැබෙනවා.

කම්ප්‍රෙසර් එකක් යෙදීමට පෙර සහ පසු තීව්‍රතා විචලනයන්

Snare drum, bass සහ කටහඬ සංකලනයක් දැක්වෙන ඉහත පළමු රූපසටහනට අනුව ඇතැම් ස්ථාන වල කටහඬ වැඩි තීව්‍රතාවයකිනුත් ඇතැම් ස්ථාන වල snare drum එක වැඩි තීව්රතාවයකිනුත් වාදනය වන ආකාරය දැක්වෙනවා. එම සංකලනයට කම්ප්‍රෙසර් එකක් යෙදූ පසු සියලුම හඬවල් සාපේක්ෂව ආසන්න මට්ටම් වලට පැමිණ ඇති ආකාරය ඉහත දෙවන රූපසටහනේ දැක්වෙනවා.

  • සංගීත භාණ්ඩ වල සියුම් ශබ්ද ඉස්මතු කිරීම

සංගීත භාණ්ඩ වලට ඒවායෙන් නිකුත් වන ඊට ආවේනික වූ විවිධ ස්වාභාවික ශබ්ද තිබෙනවා. ගිටාර් වාදන ශිල්පියකුගේ ඇඟිලි fretboard එක මත ඇතිල්ලීමෙන් නැගෙන හඬ, ගායන ශිල්පියෙකුගේ තොල් වල චලනයන් නිසා ඇති වන සියුම් ශබ්ද, ට්‍රම්පට් එකකින්, බටනලාවකින් හෝ සර්පිනාවකින් වාතය නිකුත් වන හඬ වැනි සියුම් ශබ්ද අවශ්‍ය ස්ථාන වලදී ඉස්මතු කිරීම කම්ප්‍රෙසර් එකක් හරහා සිදු කරගැනීමට හැකියි. පමණට වඩා භාවිතා කිරීම අහිතකර වියහැකි නමුත් කම්ප්‍රෙසර් එකක් භාවිතයෙන් මෙවැනි සියුම් හඬ අවශ්‍ය අවස්ථා වලදී ඉස්මතු කරගැනීම ගීතයක අලංකාරය වැඩි කිරීමට හේතු වෙනවා.

  • සංගීත ඛණ්ඩයක සමස්ථ තීව්‍රතාව ඉහළ නැංවීම (Loudening)

කම්ප්‍රෙසර් වල තවත් සුලභ භාවිතයක් තමයි මේ. ධ්වනි තරංගයක උස් හඬින් ඇති ස්ථාන වල තීව්‍රතාවය අඩු කර සමස්ථ තරංගය වර්ධනය කිරීමෙන් (Amplifying)  එහි සමස්ථ තීව්‍රතාවය වැඩි වීම සිදු වෙනවා. එවිට එම සමස්ථයක් ලෙස  තරංගය පෙර තිබුනාට වඩා උස් හඬින් ශ්‍රවනය වීම දකින්නට පුළුවන්. සංගීත නිර්මාණ වලදී මෙන්ම ගුවන්විදුලි, රූපවාහිනී වැඩසටහන් වල නිවේදනය වැනි සංගීතමය නොවන අවස්ථා වලදීත් මෙම කාර්යය සඳහා  කම්ප්‍රෙසර් භාවිතා වෙනවා.

  • සංගීත ඛණ්ඩයක ප්‍රබලතාවය ඉහළ නැංවීම (Adding punch)

මෙතනදී අපි කතා කරන්නේ punch කියන සංකල්පය ගැන. ශබ්ද පරිපාලනයට අදාලව මෙහි අර්ථය ශබ්දකෝෂයකින් නිවැරදිව ලබාගන්නට නොහැකි නමුත් මින් අදහස් වන්නේ සංගීත ඛණ්ඩයක ප්‍රබලතාවය, කාවදිනසුලු ස්වභාවය සහ වේගවත් බව වැනි යමක්, එනම් කෙටි කාලයක් තුල ශබ්දයේ සිදුවන වෙනස්වීම්. සාමාන්‍යයෙන් කෙටි කාලයක් තුළ තීව්‍රතාවයේ වෙනස්වීම් විශාල ප්‍රමාණයක් ඇති සංගීත ඛණ්ඩ වල මෙවැනි ප්‍රබලතාවයක් දක්නට ලැබෙනවා.  ඒ නිසා තමයි වේග රිද්ම ගීත වල ලයාන්විත ගීත වලට වඩා “නැගලා යන” ස්වභාවයක් දැනෙන්නේ. කම්ප්‍රෙසර් එකක් අපි ඩයිනැමික්ස් ගැන පළමු ලිපියෙන් කතා කළ මයික්‍රෝ-ඩයිනැමික්ස් (micro-dynamics) ආකාරයේ වෙනස්කම් සිදුකිරීම හරහා යම් සංගීත භාණ්ඩයකට punch, නැතිනම් කාවදිනසුළු ස්වභාවය එකතු කරගන්නට පුළුවන්. උදාහරණයක් හැටියට snare drum එකක ශබ්දයේ ස්වභාවික decay අවස්ථාව පමණක් අඩු කිරීම මගින් ඊට මෙම කාවදිනසුළු ස්වභාවය එකතු කරගන්නට පුළුවන්.

  • පරිගණක මගින් නිර්මාණය කරන සංගීත ඛණ්ඩ වල කෘත්‍රීම ස්වභාවය අඩු කිරීම

“කම්පියුටර් වලින් හදන මියුසික් මෙලෝ රහක් නෑ” කියන්නේ මෑත කාලයේ නිතර ඇසෙන මැසිවිල්ලක්. මීට හේතුව තමයි පරිගණකයකින් නිර්මාණය කරන සංගීත ඛණ්ඩ වල ස්වාභාවික විචලනයන් අඩු වීම. උදාහරණයක් හැටියට drum kit එකක දැනටමත් කම්පනය වෙමින් පවතින සිම්බල් එකකට තට්ටු කිරීමෙන් එන ශබ්දයත් නිදහසේ ඇති සිම්බල් එකකට තට්ටු කිරීමෙන් නැගෙන හඬත් එකිනෙකට වෙනස්. දියුණු මෘදුකාංග යම්තාක් දුරකට මෙවැනි වෙනස්කම් ඇතුලත් කර තිබුනත් ස්වාභාවික හඬට වඩා යම්කිසි වෙනසක් පරිගණකයකින් නිර්මාණය කරන සංගීත ඛණ්ඩ වල තිබෙනවා. මේ වෙනස අඩු කරගැනීමටත් කම්ප්‍රෙසර් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් හරියට පරිගණකයකින් නිර්මාණය කළ snare roll එකක් හරිම අස්වාභාවිකයි, හරියට තුවක්කුවකින් වෙඩි තියනවා වගෙයි. මෙවැනි අවස්තාවක වේගවත් attack time එකක් සහිත කම්ප්‍රෙසර් එකක් මගින් sanre ශබ්දයේ attack අවස්ථාවේ සැර බාල කරගැනීම මගින් ඒ අස්වාභාවික ගතිය තරමක් දුරට අඩු කරගත හැකියි.

 

Overcompressing – පමණට වඩා වැඩි කම්ප්‍රෙසර් භාවිතය

ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැහැයි කියන සංකල්පය කම්ප්‍රෙසර් වලටත් අදාලයි. පමණට වඩා කම්ප්‍රෙසර් භාවිතය සංගීතයේ ගුණාත්මක බව අඩු කිරීමට හේතු වනවා. එහි දීර්ඝකාලීන ප්‍රතිවිපාක ගැන අපි පෙර ලිපියකින් කතා කළා. ඊට අමතරව සංගීත නිර්මාණයක අලංකාරය අඩු කිරීමටත් පමණට වඩා කම්ප්‍රෙසර් භාවිතය හේතු වෙන්න පුළුවන්.

පමණට වඩා කම්ප්‍රෙසර් (හෝ වෙනත් ඩයිනැමික් ප්‍රොසෙසර්) භාවිතය හඳුනාගතහැකි ප්‍රධානම ලක්ෂණයක් තමයි pumping සහ breathing. මින් pumping යනුවෙන් අදහස් වන්නේ සංගීත ඛණ්ඩයක තැනින් තැන ඇතිවන අස්වාභාවික හඬ අඩු-වැඩි වීම්. යම්කිසි සංගීත ඛණ්ඩයක ශබ්දය හිටි හැටියේ වැඩි වී නැවත අඩු වීමක් දක්නට ලැබෙන අවස්තාවක ඊට හේතුව කම්ප්‍රෙසර් එකක් හෝ ගේට් එකක් වීමට ඉඩකඩ බොහොමයි. Breathing ලෙස හැඳින්වෙන්නේ ඩයිනැමික් ප්‍රොසෙසර් එකක අධික ක්‍රියාකාරීත්වය නිසා පටිගත කළ හඬක පසුබිමින් ඇසෙන ඝෝෂාවේ (background noise) තීව්‍රතාව හිටි හැටියේ අඩු වැඩි වීමයි. පමණට වඩා කම්ප්‍රෙසර් භාවිතය වළක්වාගන්න  කළහැකි මෙවැනි විවිධ උපක්‍රම කිහිපයකුත් තිබෙනවා.

  • අවශ්‍ය අවස්ථා වලදී පමණක් කම්ප්‍රෙසර් භාවිතා කිරීම.
  • ක්ෂණික ශබ්ද වලට (Transients) හැර අනෙකුත් ශබ්ද සඳහා වේගවත් attack time අගයන් පාවිච්චිය සීමා කිරීම.
  • අධික ratio අගයන් භාවිතා නොකිරීම. (2:1, 3:1 වැනි අගයන් සාමාන්‍ය අගයන් ලෙස සැලකෙන අතර 6:1 වැනි මට්ටම් ඉහළ අගයන් ලෙස සැලකේ.)
  • අධික ලෙස තීව්‍රතාව අඩුවන ලෙස සැකසුම් සිදු නොකිරීම. 3db – 6db අතර අගයකින් තීව්‍රතාවය අඩු වන ලෙස threshold සහ ratio සැකසුම් යෙදීම වඩාත් සුදුසු වේ.
  • අධික ලෙස compress කිරීමට අවශ්‍ය අවස්ථා වලදී අදියර කිහිපයකින් එය සිදු කිරීම. ( තනි කම්ප්‍රෙසර් එකකින් අධික ලෙස compress කිරීම වෙනුවට කම්ප්‍රෙසර් කිහිපයකින් කුඩා ප්‍රමාණ වලින් compress කිරීම)

 

ඩයිනැමික් ප්‍රොසෙසර් ගැන ලිපි පෙළ තුලින් අපි මෙතෙක් දුරට කතා කළේ කම්ප්‍රෙසර් සහ ගේට්ස් පිළිබඳවයි. ලිමිටර් සහ අනෙකුත් නිතර කතාබහට ලක් නොවන ඩයිනැමික් ප්‍රොසෙසර් ගැන ඊළඟ ලිපිය තුලින් සොයා බලමු.

 

 

මූලාශ්‍ර:

theproaudiofiles.com : 5 Different Types of Compression and When to Use Them

Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008)

audioskills.com : 47 Compression Tips from the Experts

audio-issues.com : Simple Ways to Avoid Over-Compressing

Diagrams From : Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008)

Cover Image: www.softube.com

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka