fbpx

Audio Interface එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල්

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Audio Interface එකක් තෝරාගැනීමේදී සැලකිලිමත් වියයුතු දේවල්

November 16, 2018 Hardware 0
How to choose an audio interface

 

මේ දවස්වල අපේ ෆෙස්බුක් පිටුවට ලැබෙන පණිවිඩ හරහා නිතර ඇහෙන ප්‍රශ්නයක් තමයි හොඳ audio interface එකක් ගැන විස්තර කියන්න කියන එක. මේ ප්‍රශ්නෙට සරල පිළිතුරක් නම් නැහැ. තවත් විදියකින් කිව්වොත්, හැමදෙනාටම ගැලපෙන හොඳම තනි audio interface එකක් හොයාගන්න නැහැ. ඒ නිසා කළයුතු වන්නෙ තමන්ගෙ අවශ්‍යතා වලට වඩාත්ම ගැළපෙන audio interface එකක් තෝරාගැනීමයි. Audio interface එක කියන්නෙ ඕනෑම ශබ්දාගාරයක හෝ home studio එකක වැදගත්ම උපකරණ වලින් එකක්. ඒ නිසාම තමන්ට වඩාත්ම සුදුසු audio interface එක මොකක්ද කියලා තීරණය කිරීම ටිකක් පරෙස්සමින් කළයුතු දෙයක්. මේ ලිපිය හරහා ඔබට කියන්නට සූදානම් වෙන්නෙ ඒ තීරණය ගැනීම වඩාත් පහසු කරන කරුණු කිහිපයක්.

 

බජට් එක

කොහොම ගියත් අන්තිමට මෙතනට එන්න වෙන නිසා මෙතනින් පටන්ගන්න එක වඩාත් සුදුසුයි. තමන්ට audio interface එකක් වෙනුවෙන් වියදම් කරන්න පුලුවන් මුදල මුලින්ම තීරණය කරන්නට අවශ්‍යයි. මෙතනදි සලකා බැලියයුතු අතිශය වැදගත් සංකල්පයක් තමයි “You get what you pay for” කියන්නේ. වෙනත් විදියකින් කිව්වොත් වියදම් කරන මුදල වැඩි නම් ලැබෙන ගුණාත්මක භාවයත් අති බහුතරයක් අවස්තා වලදී වැඩියි. ඒ නිසා ශබ්දාගාර උපකරණ වලට වැය කළයුතු මුදල් තීරණය කිරීමේදී audio interface එක වෙනුවෙන් ටිකක් වැඩි කොටසක් වෙන් කිරීමේ වරදක් නැහැ. විශේෂයෙන්ම හඬේ ගුණාත්මක භාවයට ඍජු වෙනසක් නොකරන MIDI controllers, DAW controllers වැනි උපකරණ වෙනුවෙන් වැඩි මුදලක් වෙන්කර තිබෙනවා නම් එවැනි වියදම් ටිකක් අඩුකර audio interface එකට අදාළ මුදල වැඩි කිරීම වඩාත් සුදුසුයි.

 

Focusrite Scarlett 2i2 ($160) සහ Universal Audio Apollo Twin ($1300)

Focusrite Scarlett 2i2 ($160) සහ Universal Audio Apollo Twin ($1300)

 

Connectivity – පරිගණකයට සම්බන්ධ වන ආකාරය

බජට් එකෙන් පසු ඊළඟට සලකා බැලිය යුතු කරුණු වලින් ප්‍රධානම එකක් තමයි මේ. පරිගණකයට audio interface එක සම්බන්ධ කළහැකි ආකාර කිහිපයක් තියනවා.

  • USB
  • Firewire
  • Thuderbolt
  • PCI
  • Hybrid

මේ අතරින් අපේ රටේ වඩාත්ම ජනප්‍රිය වෙලා තියෙන්නෙ USB හරහා සම්බන්ධ වන ආකාරයයි. USB කෙවෙණියක් නැති පරිගණක බොහොම දුර්ලභ නිසා මේ ආකාරයේ උපකරණ පහසුවෙන් විවිධ පරිගණක වලට සම්බන්ධ කරන්න පුලුවන්. USB සම්බන්ධතා ගන කතා කරද්දි සැලකිලිමත් වියයුතු කරුණක් තමයි USB 3.0 හරහා සම්බන්ධ වන audio interfaces. මේවා නිශ්පාදනය කරන සමාගම් තමන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා මේ USB 3.0 ක්‍රමය ඉස්මතු කරන්නට උත්සාහ කරන නමුත් ඇතැම් අවස්තා වල ඒ උපකරණ වල USB 3.0 හරහා ලැබෙන නමුත් USB 2.0 හරහා නොලැබෙන විශේශාංග කිසිවක් නැහැ. ඒ නිසා USB 3.0 සහිත උපකරණ මිලදී ගන්නට පෙර මේ ගැන සැලකිලිමත් විය යුතුයි.

Firewire කියන්නෙ අභාවයට යමින් පවතින තාක්ශනයක්. Firewire නිර්මාණය කරන්නට මූලික වුණු සමාගම් කිහිපයක් අතර සිදුවුණු මතගැටුම් කිහිපයක්  නිසා අද වනවිට එම තාක්ශනය භාවිතා වීම ඉතා අඩුයි. ඒ වගෙම firewire හරහා පමණක් සම්බන්ධ වන audio interfaces අද වෙළෙඳපොලේ දක්නට ලැබෙන්නෙ අතළොස්සක් පමනයි. ඒ නිසා ඉතා හොඳ තත්ත්වයේ භාවිතා කළ උපකරණයක් අඩු මුදලකට ලබුණොත් හැරෙන්නට Firewire පමණක් සහිත audio interface එකක් මිලට ගැනීම වසර 2019දී අනිවාර්‍යයෙන්ම දෙවරක් සිතා බලන්න අවශ්‍ය වන කරුණක්.

USB වලට වඩා වේගවත් දත්ත හුවමාරුවක් ලබාදෙන Thunderbolt තාක්ශනය අද වනවිට audio interface වල බහුලව දක්නට ලැබෙනවා. මේවාට අවශ්‍ය වන thunderbolt කෙවෙණි Apple පරිගණක වල බොහෝවිට අඩංගු වනවා. ඒ වගේම වින්ඩෝස් පරිගණක සඳහාත් PCI Thunderbolt Interface එකක් භාවිතයෙන් මේවා සම්බන්ධ කරගැනීමේ හැකියාව තිබෙනවා. තරමක් මිල අධික නමුත් මේ ආකාරයේ උපකරණයක් මිලදී ගැනීම හොඳ ආයෝජනයක්.

PCI කියන්නෙ desktop පරිගණකයක PCI port එකට සම්බන්ධ වන ආකාරයේ audio interface එකක්. මෙවායේ ගුණාත්මක භාවය ඉහළ නමුත්  අද වනවිට මේවා දක්නට ලැබෙන්නේ ඉහල මිළ ගණන් සහිත Pro Tools HDX, Motu HDX  වැනි පද්ධති සඳහා පමණයි. කෙසේනමුත් තවත් නවීනතම තාක්ශණයක් වන DANTE (Digital Audio Network Through Ethernet) මගින් සම්බන්ධ වන උපකරණ පද්ධති සඳහාත් PCI card භාවිතා වනවා.

Hybrid audio interfaces ලෙස හැඳින්වෙන්නේ ඉහත කී ක්‍රම වලින් එකකට වඩා අඩංගු වන උපකරණ වලටයි. මේවා බහුලව දක්නට ලැබෙන්නේ USB සහ Firewire හෝ USB සහ Thunderbolt හරහා ක්‍රියාත්මක වීමේ හැකියාව සහිතවයි.

USB සහ Thunderbolt සබඳතා සහිත Antelope Discrete 4

USB සහ Thunderbolt සබඳතා සහිත Antelope Discrete 4

 

ඇනලොග් Inputs සහ Outputs ප්‍රමාණය

Audio interface එකෙන් අපි කරන්නට බලාපොරොත්තු වන කාර්‍යයන් අනුව අවශ්‍ය චැනල් ප්‍රමාණය වෙනස් වනවා. මෙයට බලපාන ප්‍රධානතම සාධකය තමයි ඔබට එකවර පටිගත කිරීමට අවශ්‍ය වන සංගීත භාණ්ඩ ගණන. ඔබ බොහෝවිට කරන්නේ එකවරකට එක් කටහඬක්/සංගීත භාන්ඩයක් බැගින් පටිගත් කිරීම නම් ඔබට චැනල් දෙකක් පමණක් සහිත audio interface එකක් ප්‍රමාණවත් විය හැකීයි. නමුත් ඔබ ඩ්‍රම්ස් වැනි සංගීත භාණ්ඩ පටිගත කරනවානම් අවම වශයෙන් චැනල් 8ක් හෝ සහිත audio interface එකක් තිබේම වැදගත්. ඒ වගේම ඔබ භාවිතා කරන external effects / processors සහ summing mixers වනි උපකරණ වලට අමතර outputs තිබීම ඉතා වැදගත්.

 

ඩිජිටල් Inputs සහ Outputs ප්‍රමාණය

Audio interface එකක් ඩිජිටල් inputs සහ outputs ප්‍රධාන වශයෙන් ADAT සහ S/PDIF යන ආකාර දෙකෙන් දක්නට ලැබෙනවා. ඒ අතරිනුත් audio interface එකක් තොරාගැනීමේදී එහි ඇති ADAT කෙවෙණි ප්‍රමාණය වඩාත් වැදගත්. Audio interface එකක ඇති සාමාන්‍ය චැනල් ප්‍රමාණයට අමතරව එක් ADAT සම්බන්ධතාවයකට ADAT සහිත වෙනත් preamp එකක් සම්බන්ධ කිරීම මගින් අමතර චැනල් 8ක් ලබාගත හැකියි. ඒ නිසා ඔබට එකවර චැනල් බොහෝ ප්‍රමාණයක් පටිගත කිරීමට අවශ්‍ය නම් හෝ උපකර්ණ ගොනුව අනාගතයේදී වැඩි චැනල් ගණනක් එකවර පටිගත කළහැකි ආකාරයට වැඩිදියුණු කරන්නට බලාපොරොත්තු වනවා නම් ADAT සබඳතා සහිත audio interface එකක් තොරාගැනීම වඩාත් සුදුසුයි. මීට අමතරව, එතරම් සුලභව භාවිතා නොවුණත් S/PDIF සම්බන්ධතාවයකුත් ඇතැම් උපකරණ වල දක්නට ලැබෙනවා.

USB සහ FireWire සබඳතා, ADAT, S/PDIF පහසුකම් සහ Clock in/Out සහිත RME Fireface UCX

USB සහ FireWire සබඳතා, ADAT, S/PDIF පහසුකම් සහ Clock in/Out සහිත RME Fireface UCX

 

Preamps, Converters සහ Clocking

සෑම පෙරවර්ධකයකටම (preamp)  ඊට ආවේණික ධ්වනි ගුණයක් තිබෙනවා. එහි ගුණාත්මක භාවය එය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය, යොදා ඇති පරිපථ කොටස්, amplifier class එක සහ තවත් කාරණා මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් ඉහළ ගුණාත්මක භාවයකින් යුතු preamps සහිත උපකරණ මිලෙන් ඉහළයි. උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් වෙළෙඳපොළේ ඉතා අඩු මිළකට ලබා ගතහැකි Focusrite 2i2 interface එකට වඩා මිලෙන් අධික Universal Audio Apollo එකකින් වඩාත් හොඳ හඬක් ලබාගත හැකියි.

ඒ වගේම clocking පහසුකම් ගැනත් අවධානය යොමුකිරීම ඉතා වැදගත්. Audio interface එකක් ඇති A/D converters (ඇනලොග්-ඩිජිටල් පරිවර්තක) වලට අදාල කාල ගණනය කිරීමේ කටයුතු සිදුව්වන්නේ මේ clock කොටස මගින් නිකුත් කරන සංඥාවක් මගින්. ඒ නිසා audio interface එකක clocking වල නිරවද්‍යතාවය ඉතා වැදගත්. මේ clocking උපකරණ කොටස් තුළ ඇති දෝලක (oscillator) වල නිරවද්‍යතාව උෂ්ණත්වය සමග මඳ වශයෙන් වෙනස් වනවා. මේ නිසා ශබ්දයේ ඇතිවන සියුම් අපගමනයන් වැළක්වියහැකි oven-controlled oscillator පහසුකම් ඉහළ මට්ටමේ audio interfaces වල දක්නට ලැබෙනවා.

ඒ වගේම ඔබ ඇනලොග්-ඩිජිටල් පරිවර්තන සිදු කරන වෙනත් උපකරණ භාවිතා කරනවා නම් එම එම එනෙකුත් උපකරණත් audio interface එකත් එකම clock signal එකකින් පාලනය විය යුතුයි. මේ වෙනුවන් ඉහළ මට්ටමෙ audio interface වල clock signal එක වෙනත් උපකරණ වලට යැවීම සඳහා clock out එකකුත් වෙනත් clock එකක් මගින් පාලයන වීම සඳහා clock in පහසුකමකුත් දකින්නට පුලුවන්. විශේෂයෙන් ඔබ ඉදිරි අනාගතයේදී master clock එකක් ඔබේ උපකරණ ගොන්නට එකතු කරගැනීමට බලාපොරොත්තු වනවා නම් මෙම clocking පහසුකම් සහිත audio interface එකක් තොරාගැනීම නුවණට හුරුයි.

 

Driver මෘදුකාංග වල ගුණාත්මක භාවය සහ නිශ්පාදන දෝෂ

Audio interface එකක් කෙතරම් මිළ අධික වුණත්, එහි preamps කෙතරම් ගුණාත්මක වුණත් සෑම අවස්ථාවකදීම මෘදුකාංග වලින් පාලනය වන නිසා මෘදුකාංග වල ගැටලු මගින් ප්‍රායෝගික භාවිතයේදී ගැටලු ඇතිවිය හැකියි. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වීම නුවණට හුරුයි. ඒ වගේම ඔනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක මෙන්ම audio interface එකකත් එක් එක් මාදිලියට ආවේණික වූ නිශ්පාදන දෝෂ පැවතිය හැකියි. ඒ නිසා ඔබ audio interface  එකක් තෝරාගත් පසු එය භාවිත කරන්නන්ට පැන නැඟුනු ගැටලු පිළිබඳව අන්තර්ජාලයේ සොයාබැලීම මගින්, නැතිනම් දැනට එම උපකරණය භාවිතා කරන කෙනෙකුගේ අදහස් විමසීම මගින් වඩාත් හොඳ තීරණයක් කරා යොමුවිය හැකියි.

 

අනෙකුත් කරුණු

  • Sampling rate සහ bit depth –  අද වනවිට වෙළෙඳපොලේ පවතින අති බහුතරයක් audio interface වල අවම වශයෙන් 24bit/48kHz මට්ටමේ සැකසුම් පවතින නිසා මේ පිළිබඳ එතරම් වද වීම අනවශ්‍ය නමුත් හැකි අවස්ථා වලදී ඉහල අගයන්ගෙන් යුතු උපකරණ තෝරාගැනේම වඩාත් හොඳ ආයෝජනයක් වෙනවා.
  • Built in DSP (Digital Signal Processing) –  ඇතැම් නවීන audio interface වල DSP ඇති ප්‍රොසෙසර මගින් ඉහළ මට්ටමේ ගුණාත්මක effects plugins / processor plugins ලබාගත හැකියි. මේවා බොහොමයක් ඇනලොග් උපකරණ වල ආකෘති අනුව සකසා ඇති බැවින් එකී උපකරණ වල හැසිරීමට ඉතා ආසන්න ප්‍රතිනිර්මාණයක් සිදු කිරේමේ හැකියාව මේවාට තිබෙනවා.
  • Headphone outputs – සාමාන්‍යෙන් audio interface වල එක් එකක් පමණක් තිබුණත් ඉහළ මට්ටමේ audio interface වල headphone outputs දෙකක් තිබෙනවා. මෙය පටිගත කිරීමකදී  එම කාර්‍යය වඩාත් පහසු කරන්නේ ඉංජිනේරු වරයාට සහ ගායකයා/වාදකයාට වෙන වෙනම headphone mixes සැකසීමේ හැකියාව නිසා.
  • Hi-Z inputs (Instrument) –  මෙවැනි එකක් මගින් DI box එකක අවශ්‍යතාව මඟහරවා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ audio interface එකෙහි Hi-Z input එක තුළම DI box එකකට අදාල පරිපථ කොටස අඩංගු වන නිසාවෙන්.
  • MIDI in/out – ඇතැම් audio interface වල MIDI පහසුකම් දක්නට ලැබෙනවා. මේ හරහා MIDI controllers වැනි උපකරණ audio interface එක හරහාම පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව ලැබෙනවා.
  • Monitoring Options – සාමාන්‍ය input/output පහසුකම් වලට අමතරව speakers පාලනය කිරීමේ හැකියාවත් ඇතැම් සතුව පවතිනවා. මෙවැනි උපකරණ මගින් speakers වෙත යන ශබ්දය dim, mute සහ mono කිරීමේ හැකියාව තිබෙනවා ඔබ studio monitor යුගල කිහිපයක් භාවිතා කරනවා නම් මේ පහසුකම් සහිත audio interface එකක් වැදගත් විය හැකියි.

 

සමස්ථයක් වශයෙන් audio interface එකක් මිලදී ගැනීමේදී තමාගේ අවශ්‍යතාවයන්ට සහ ඉදිරි සැලසුම් වලට ගැලපෙන උපකරණයක් තෝරාගැනීම ඉතා වැදගත්. තරමක් කාලය වැය වුණත්, තෝරාගන්න උපකරණ සම්බන්ධව පාරිභෝගික අදහස්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහස්, වැනි දේ සලකා බැලීම තුළින් වඩාත් නිවැරදි  තීරණයක් කරා ලඟා විය හැකියි. මේ ලිපියෙන් විස්තර කෙරුණු කරුණු වලට අමතරව ඔබ සලකා බැලූ කරුණුත්, ඔබ භාවිතා කරන උපකරණ වල ගුණ-අගුණත් comment එකක සටහන් කරන්නත් අමතක කරන්න එපා.

 

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka