fbpx

Pan Laws හඳුනාගනිමු

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Pan Laws හඳුනාගනිමු

March 28, 2018 Audio Engineering Concepts 0

 

Stereo panning කියන්නේ සංගීත නිර්මාණ වලදී බහුලව පාවිච්චි වෙන සංකල්පයක්. මේ සඳහා පාවිච්චි වෙන විවිධ  උපකරණ  එකිනෙකට තරමක් වෙනස් විදියටයි pan කිරීමේදී හැසිරෙන්නේ. නවතම DAW මෘදුකාංග වල නම් මේ හැසිරීම පාලනය කළහැකි සැකසුම් කිහිපයක්ම අන්තර්ගතයි. එවැනි වෙනස් සැකසුම් හැදුණු ආකාරය සහ එහි වැදගත්කම ගැනයි මේ ලිපිය.

 

Stereo Panning වල ඉතිහාසය

1930 දශකයේ මුල් භාගය වනතුරුම ශබ්ද පරිපාලනය සඳහා භාවිත වුණේ mono ශබ්ද පමණයි. වසර 1931 දී Alan Blumlein නම් ඉංජිනේරුවරයා විසින් “Binaural  Sound” නමින් ස්ටීරියෝ පටිගත කිරීම් පද්ධතියක් සඳහා පේටන්ට් බලපත්‍ර අයදුම්පතක් ඉදිරිපත් කිරීමත් සමග ස්ටීරියෝ සංගීතයේ ආරම්භය සනිටුහන් වෙනවා. නමුත් ස්ටීරියෝ පටිගත කළ පළමු ගීතය එළිදැක්වෙන්නේ 1958 තරම් පසු කාලයකයි.

ස්ටීරියෝ පටිගත කළහැකි පද්ධතියක් මුල්වරට භාවිතා වෙන්නේ බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ Abbey Road ශබ්දාගාරයේ. ඉතා ඉක්මණින් මේ ක්‍රමය ලෝකයේ අනෙකුත් රටවල් වලත් භාවිතා වීම ඇරඹුණා. ඒ සමගම mixing console නිෂ්පදකයන්ටත් ස්ටීරියෝ පහසුකම් සහිත උපකරණ වෙළෙඳපොළට නිකුත් කරන්නට සිදුවුණා.

මුල් කාලයේ ස්ටීරියෝ පද්ධති වල අද වගේ වමේ සිට දකුණට ක්‍රමානුකූලව pan කිරීමේ හැකියාව තිබුණේ නැහැ. ඒ වෙනුවට තිබුණේ Three State Switch නමැති අවස්ථා 3කින් පමණක් සමන්විත පද්ධති. වෙනත් ආකාරයකින් කිව්වොත් මේ උපකරණ වලට pan කිරීමේ හැකියාව තිබුණේ Right, Left, හෝ Center ස්ථාන 3ට පමණයි.

අද පවතින ආකාරයේ වමේ සිට දකුණට ක්‍රමානුකූලව pan කළහැකි පද්ධතියක අවශ්‍යතාවය මුලින්ම දැනුණේ ඩිස්නි චිත්‍රපට සමාගමේ ඉංජිනේරුවන්ටයි. ඒ එවකට ඔවුන් නිර්මාණය කරමින් සිටි සජීවීකරණ චිතරපටයක් සඳහා ශබ්දයක් තිරයේ එක් පසෙක සිට අනෙක් පසට ගමන් කරන ආකාරය ප්‍රතිනිර්මාණය කිරීමට අවශ්‍ය වීම නිසා.

මේ අවශ්‍යතාවය වෙනුවෙන් Alan Blumlein සහ තවත් පර්යේෂකයන් කිහිපදෙනෙක් විසින් කරන ලද පර්යේෂණ ඇසුරින් නිර්මාණය වුණු Panoramic Potentiometer කියන උපකරණය තමයි අද වෙද්දී Pan-pot ලෙස අපි හඳුන්වන උපකරණට බවට පත්වෙන්නේ.

 

Pan Laws අවශ්‍ය ඇයි?

Pan laws හැදෙන්නේ pan කිරීම නිසා ශබ්දයේ තීව්රතාවය සම්බන්ධව ඇතිවන ගැටලුවකට විසඳුමක් හැටියට. මේ ගැටලුවට මුල්වන මුලධර්ම 2ක් තියෙනවා.

  1.  අපි ස්පීකර් දෙකකින් එකම තීව්රතාවය සහිතව හඬක් නිකුත් කරන විටකදී, එය අසන්නාට ස්පීකර් දෙකෙන්ම දැනෙන සමස්ථ තීව්‍රතාව, එක් එක් ස්පීකරයෙන් දැනෙන තනි තීව්රතාවයට වඩා ඩෙසිබල් 3ක් (3dB) පමණ වැඩියි. උදාහරණයක් හැටියට, ස්පීකර් දෙකක් එක් ස්පීකරයකින් 80dBSPL බැගින් හඬ නිකුත් කරන අවස්තාවක ඉන් අසන්නාට දැනෙන සමස්ථ තීව්‍රතාවය (Perceived Loudness) 83dBSPL පමණ (3dB වැඩිවීමක්) වෙනවා.
  2. ස්ටීරියෝ චැනල් දෙකකින් එන හඬක්, ඉහත කී ආකාරයේ ස්පීකර් දෙකක පද්ධතියකින් mono ආකාරයට නිකුත් කිරීමේදී, එක් එක් චැනල් එකේ හඬෙන් හරි අඩක් බැගින් ගෙන එකතු කිරීමෙන් ලැබෙන ශබ්දය එක් එක් ස්පීකරයට වෙන වෙනම යැවීම සිදුවෙනවා (L = R = 0.5L + 0.5R). උදාහරණයක් හැටියට,  අපි ඉහත විස්තර කල 80dB ශබ්දය දකුණුපස උපරිමයට pan කර ඇති විටෙක, දකුණුපස ස්පීකරයෙන් 80dB සහ වම්පස ස්පීකරයෙන් 0dB ශබ්ද නිකුත් වෙනවා. මෙය mono වලට පරිවර්තනය කිරීමේදී දකුණුපස 80dB ශබ්දයෙන් හරි අඩකුත්, වම්පස 0dB වලින් හරි අඩකුත්, එනම් 0dBත් එකට එකතු කර ස්පීකර දෙකට වෙන වෙනම යැවීම සිදු කෙරෙනවා. ඩෙසිබල් පරිමාණයට අනුව 80dB වලින් හරි අඩක් වෙන්නේ 74dB පමණ ප්‍රමාණයක්. එවිට එක් ස්පීකරයකට 74dB බැගින් යැවීම සිදුවෙනවා. මේ අවස්ථාවේදී ඉහත පළමු මුලධර්මයට අනුව 74dB බැගින් එක් එක් ස්පීකරයෙන් නිකුත් වනවිට ඉන් අසන්නාට දැනෙන සමස්ථ තීව්රතාවය 77dB පමණ වෙනවා.

මේ කාරණා දෙක අනුව එක් පසක උපරිමයට pan කළ හඬක් mono වලට පරිවර්තනය කළවිට, දෙපසටම සමානව (center) pan  කළ හඬකට වඩා ආසන්න වශයෙන් 3dB අඩුවීමක් සහිතවයි අසන්නාට දැනෙන්නේ. මේ හේතුව නිසා මුල් කාලයේ mixing console හරහා හැදෙන ගීත mono වලින් ඇසෙන අවස්ථා වලදී මධ්‍යස්තව (center) pan කළ ශබ්ද වලට වඩා වම් හා දකුණු පසට වැඩිපුර pan කළ (extreme pan) ශබ්ද අඩුවෙන් ඇසෙන තත්ත්වයක් ඇති වුණා. මේ ගැටලුවට පිලියමක් හැටියට තමයි pan laws හඳුන්වා දෙනු ලැබෙන්නේ. බොහෝවිට analog mixing consoles වලදී නම් සියලුම panning knobs වැඩ කරන්නේ එක් pan law එකකට අනුවයි. නමුත් DAW මෘදුකාංග වලදී නම් අපි කැමති pan law එකක් තෝරාගැනීමේ හැකියාව තියෙනවා.

Cubase 9 මෘදුකාංගයේ pan law සැකසුම්.

 

බහුලව භාවිතා වන Pan Laws

  • 0dB Pan Law – මේ ක්‍රමයේදී පෙර කී තීව්‍රතාව අඩුවීම වැලැක්වීම සඳහා කිසිදු වෙනසක් සිදු කරන්නේ නැහැ. සරලව කිව්වොත් 0dB ක්‍රමය කිසිම pan law එකක් නැතිව ක්‍රියාත්මක වීමට සමානයි.

    0db Pan Law Perceived loudness

     

  • -3dB Pan law (Constant Power Pan) – මේ ක්‍රමයේදී සිදුවෙන්නේ center pan කෙරෙන හඬවල් වල 3dB අඩු වීමක් සිදුවෙන ආකාරයට pan කිරීමට සමානුපාතිකව හඬ අඩු කිරීම. මෙමගින් අපි ඉහත කී දෙපසට pan කළ හඬ 3dB වලින් අඩුවීම සඳහා හානිපූරණයක් සිදුකෙරෙනවා.

    -3db Pan Law Perceived loudness

     

  • -6dB Pan Law (Constant Gain Pan) –  මේ ක්‍රමයේදී සිදුවෙන්නේ center pan කෙරෙන හඬවල් වල 6dB අඩු වීමක් සිදුවෙන ආකාරයට pan කිරීමට සමානුපාතිකව හඬ අඩු කිරීම. මෙමගින් center pan කරන ලද හඬවල් වැඩිපුර අඩු කෙරෙන නිසා ස්ටීරියෝ ලෙස නිම කෙරෙන ගීත සඳහා එතරම් සුදුසු නැහැ.

    -6db Pan Law Perceived Loudness

     

  • -4.5 Pan Law  – මේ ක්‍රමය -3dB සහ -6dB ක්‍රම අතර සංයෝජනයක් ලෙස හැඳින්විය හැකියි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙමගින් ස්ටීරියෝ සහ mono අතර හුවමාරු වීමේදී තීව්රතා වෙනස්වීම අවම වීමයි.

    -4.5dB Pan Law Perceived Loudness

     

 

වඩාත් ගැලපෙන Pan Law එකක් තෝරාගැනීම

තොරාගතයුත්තේ කුමන pan law එකද යන්න ප්‍රධාන වශයෙන් පදනම් වෙන්නේ අපි කරන සංගීත නිර්මාණය රසවිඳීමට අසන්නා විසින් භාවිතා කරන පද්ධතියේ ස්වභාවය අනුව. සමස්ථයක් වශයෙන් අපි කරන නිර්මාණය රුපවාහිනී, ගුවන්විදුලිය වැනි වැඩිපුර mono ආකාරයේ උපකරණ පාවිච්චි වෙන මාධ්‍යයක් ඉලක්ක කරගත් එකක් නම් -6db ක්‍රමය වඩාත් සුදුසුයි. වැඩි වශයෙන් ස්ටීරියෝ උපකරණ භාවිත වන YouTube, Social Media සහ අන්තර්ජාලය හරහා බෙදාහැරීම වැනි මාධ්‍යයන් වලට වඩාත් සුදුසු වන්නේ -3dB ක්‍රමයයි. මේ දෙකටම ගැලපෙන ආකාරයේ මිශ්‍රණයක් ලබාගන්න අවශ්‍ය වේලාවකදී නම් -4.5dB ක්‍රමය වඩාත් සුදුසුයි. කොහොම නමුත් විවිධ සැකසුම් එක්ක පරීක්ෂණ හරහා තමන්ට වඩාත් සුදුසු ක්‍රමය තෝරාගැනීම වඩාත් ගුණාත්මක සංගීත නිර්මාණයකට ඉවහල් වෙනු ඇති.

 

මුලාශ්‍ර:

Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008)

Film Mixing and Sound design – Understanding Stereo and Surround Pan Laws in Pro Tools and Dolby Atmos

 

 

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka