fbpx

ශබ්ද පරිපාලනයේ සීතල යුද්ධය – Loudness War

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

ශබ්ද පරිපාලනයේ සීතල යුද්ධය – Loudness War

April 23, 2018 Audio Engineering Concepts 0

 

මේ කතාව දශක කිහිපයක් තිස්සේ අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයට කරදරයක් වුණු එක්තරා ආකාරයක සීතල යුද්ධයක් වැනි සංසිද්ධියක් ගැනයි. බොහෝ කලක් තිස්සේ ශබ්ද පරිපාලන ක්ෂේත්‍රයේ ඇතිවුණු විවිධ ප්‍රවණතා සහ මිත්‍යා මත නිසා පටිගත කරන ගීත වල ධ්වනි තීව්‍රතාව (Loudness) අසාමාන්‍ය ලෙස වැඩි කිරීමට ශබ්ද පරිපාලන ශිල්පීන් පෙළඹීම හරහා ගීතවල ගුණාත්මක භාවයේ ඇති වූ කඩාවැටීම Loudness War ලෙස හැඳින්වෙනවා. මේ කතාවේ අතීතය ග්‍රැමෆෝන් යුගය දක්වා දිව යන එකක්.

ග්‍රැමෆෝන් තැටි වල ගීත පටිගත වෙන්නේ ඇනලොග් තරංග හැටියටයි. මේ නිසා අනෙකුත් ගීත වලට වඩා වැඩි තීව්රතාවයකින් ග්‍රැමෆෝන් තැටියකට ඇතුලත් කරන ගීතයක්, අඩු තීව්රතාවයකින් තැටියට ඇතුලත් කරන ගීතයකට වඩා කැපී පෙනීමේ ප්‍රවනතාවක් ඇති වුණා. මේ නිසාම හඬ වැඩි ග්‍රැමෆෝන් තැටි වල අලෙවිය වැඩි බවටද මතයක් පැතිර යනවා. මේ තත්ත්වය හඳුනාගත් එවකට සංගීත නිෂ්පාදක වරුන් ග්‍රැමෆෝන් තැටි වල අඩංගු ගීත වල තීව්‍රතාවය වැඩි කිරීමට දිගින් දිගටම ශබ්ද පරිපාලන ශිල්පීන් යොමු කිරීම මේ ප්‍රවනතාවය පුරුද්දකට යාමට හේතු වුණා.

මේ තත්ත්වයට විද්‍යාත්මක හේතුව වන්නේ මිනිස් මොළය ශබ්ද හඳුනාගන්න අකාරයයි. මිනිස් කනට විවිධ සංඛ්‍යාත වල ශබ්ද ඇසෙන්නේ එකිනෙකට වෙනස් තීව්‍රතාවයන් සහිතවයි. ඒ වගේම වැඩි තීව්රතාවයක් සහිත හඬක් සාපේක්ෂව “හොඳ හඬක්” ලෙස හඳුනාගැනීමේ ප්‍රවනතාවයකුත් මිනිස් මොළය සතුයි.

ග්‍රැමෆෝන් තැටි වල පාවිච්චි වුණේ ඇනලොග් තරංග වූ නිසා මෙය එවකට එතරම් කරදරයක් වුණේ නැහැ. නමුත් CD තැටි භාවිතය ප්‍රචලිත වීමත් සමග තත්ත්වය දරුණු අතට හැරීම ආරම්භ වුණා. CD තැටි වල සංගීතය ගබඩා වෙන්නේ ඩිජිටල් දත්ත ආකාරයටයි. ඩිජිටල් සංගීත ගොනු වලට ගබඩා කළහැකි තීව්රතාවයේ උපරිම සීමාවක් (0dBFS) තියෙනවා. මේ සීමාවෙන් ඉහලට තීව්රතාවය වැඩි කිරීමට ක්‍රමයක් නැති නිසා වෙනත් උපක්‍රම භාවිතයෙන් ගීත වල dynamic range අඩු කිරීම මගින් සමස්ථ තීව්රතාවය වැඩි කිරීමට පෙළඹුණා.

Dynamic range නමින් හැඳින්වෙන්නේ ගීතයක තීව්රතාවය අඩුම සහ වැඩිම කොටස් අතර වෙනසයි. මේ වෙනස අඩු කිරීම සඳහා කම්ප්‍රෙසර් සහ ලිමිටර් උපකරණ භාවිතා වෙනවා. කෙසේ නමුත් ගීත වල තීව්‍රතාව වැඩි කිරීම සඳහා මේ උපකරණ පමණට වඩා භාවිතා කිරීම ගීත වල ගුණාත්මක භාවය විශාල ලෙස අඩු කිරීමට හේතු වන බව බොහෝ දෙනාගේ අවධානයට ලක් වුණේ නැහැ.

මේ අතර ඉහත කී වැඩි  තීව්රතාවයක් සහිත හඬක් සාපේක්ෂව “හොඳ හඬක්” ලෙස හඳුනාගැනීමේ ප්‍රවනතාවය නිසාම  එවකට ගුවන්විදුලි නාලිකා අධික ලෙස කම්ප්‍රෙසර් සහ ලිමිටර් උපකරණ භාවිතා කර තමන්ගේ නාලිකාවේ හඬ වැඩි කරගන්නට පෙළඹුණා. මේ තත්ත්වය යටතේ ඉහළ තීව්රතාවයක් ලබාගැනීම සඳහා සැකසු වැඩි හඬ සහිත CD වල අඩංගු ගීත ගුවන්විදුලිය හරහා ප්‍රචාරය වනවිට නැවත වාරයක් කම්ප්‍රෙසර් සහ ලිමිටර් වල බලපෑමට හසුවීම නිසා  ඒවායේ ගුණාත්මක බව තවත් අඩුවීම දකින්නට ලැබුණා.

මේ සංසිද්ධියේ උච්චතම අවස්ථා දකින්නට ලැබුණේ වසර 2000-2010 අතර කාලයේදී.  මේ තත්ත්වය නිසා සුප්‍රසිද්ධ මෙටලිකා –  Metallica  සංගීත කණ්ඩායමට මුහුණ දෙන්න සිදුවුණු අකරතැබ්බය ඊට හොඳ උදාහරණයක්. 2008 වසරේ නිකුත් වූ ඔවුන්ගේ Death Magnetic ඇල්බමය අධික ලෙස කම්ප්‍රෙසර් සහ ලිමිටර් වල බලපෑමට හසුවී තිබුනද, පිටපත් මිලියන දෙකකට වඩා අලෙවි වුණා. 2009 වසරේදී නිකුත් වූ Guitar Hero පරිගණක ක්‍රීඩාවේ එක් සංස්කරණයකට Death Magnetic ඇල්බමයේ ගීත ඇතුලත් වුණේ වෙනස් සැකසුම් සහිතව mixing සහ mastering කිරීමෙන් අනතුරුවයි. Death Magnetic ඇල්බමයේ Guitar Hero සංස්කරණය නිකුත් වීමත් සමග එහි CD තැටියේ අඩංගු සංස්කරණය රසිකයන්ගේ මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේත් දරුණු විවේචන වලට ලක්වුණේ එහි අඩංගු ගීත ගුණාත්මක බවින් ඉතා අඩු බව දැනෙන්නට පටන් ගැනීම නිසා.

Death Magnetic හි CD සංස්කරණයේ තීව්‍රතාව අධික ලෙස ඉහළ නංවා ඇති අකාරය. (Source: recordinghacks.com)

මේ YouTube වීඩියෝව හරහා එම සංස්කරණ දෙක තුල ඇති හඬේ වෙනස පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා. CD සංස්කරණය තුල Guitar Hero සංස්කරණයට වඩා විකෘති වූ ස්වභාවයක් පැහැදිලිවම අහන්නට ලැබෙනවා.

 

ගීතයක ධ්වනි තීව්‍රතාවය වැඩි කරගැනීමට එහි dynamic range එක පමණට වඩා අඩු කිරීම එහි ඇති විචල්‍යතා අඩු කිරීමට හේතු වෙනවා. මේ නිසා ගීතයක ඇති අලංකාරය මැකී යාමේ ඉඩකඩ ඉතා ඉහලයි. මේ නිසා විශේෂයෙන් තාල වාද්‍ය භාණ්ඩ වල හඬ විකෘති වීම සහ වචන තේරුම් ගැනීමට අපහසු වීම සුලබව දකින්නට ලැබෙනවා.

Death Magnetic ඇල්බමය සහ සමකාලීනව නිකුත් වූ තවත් ගීත වල තිබු අඩු ගුණාත්මක භාවය නිසා Loudness War සංසිද්ධිය ක්ෂේත්‍රයට අතිශයින් හානිකර බව බොහෝදෙනාගේ අවධානයට ලක් වුණා. එමෙන්ම iTunes, YouTube සංගීත නිර්මාණ බෙදාහරින සේවා මගිනුත් මේ සඳහා විසඳුම් සොයන්නට පෙළඹුණා. පසුකාලීනව ධ්වනි තීව්‍රතාව සම්බන්ධ අන්තර්ජාතික ප්‍රමිතිකරණ බිහිවීමටත් මෙය එක් හේතුවක් වුණා. ඊට අමතරව Turn Me Up (turnmeup.org) සහ Dynamic Range Day (dynamicrangeday.co.uk) වැනි ස්වේච්ඡා වැඩසටහන් හරහා loudness war හි අදීනව සහ සංගීතයේ අඩංගු විචලනයන් ආරක්ෂා කරගැනීමේ වැදගත්කම ගැන දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ වුණා.

 

යුද්දේ ඉවරද?

ඔව්. මේ වනවිට බොහෝ  සංගීතඥයින් සහ ශබ්ද පරිපාලන ශිල්පීන් පෙර තිබු වැඩි dynamic range එකක් සහිත ආකාරයේ නිෂ්පාදන කිරීමට නැවත යොමු වෙමින් සිටිනවා. ඒ වගේම දැනට අන්තර්ජාලය තුළ ගීත බෙදාහැරීමේ දැවැන්තයින් වන iTunes සහ YouTube සමාගම් ඔවුන්ගේ සේවා හරහා ඇසෙන සියලු ගීත වල තීව්‍රතාව එකම මට්ටමකට ගෙන එන්නට කටයුතු කර තිබෙනවා. වෙනත් අකාරයකින් කිව්වොත්, YouTube හා iTunes හරහා ඇසෙන ගීත කෙතරම් වැඩි තීව්‍රතාවයකින් mixing & mastering සිදුකර තිබුනත් අවසානයේ ශ්‍රාවකයාට ඇසෙන තීව්‍රතා වල විශාල වෙනසක් නැහැ.

 

Loudness War සම්බන්ධ වැදගත් කරුණු.

 

මේ සියලු කරුණු සලකා බලද්දී තවදුරටත් ගීතයක ධ්වනි තීව්‍රතාව වැඩි කරගැනීමේ අරමුණින් ගීතයක Dynamic Range එක අනවශ්‍ය ලෙස අඩු කිරීම කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ. අන්තර්ජාතික සංගීත ක්ෂේත්‍රයේ ඇතිවුණු මේ සංසිද්ධියත් එක්ක ලංකාවේ ගීත වල ඇතිවුණු වෙනස්කම් ඉදිරි ලිපියකින් සොයා බලන්න අපි බලාපොරොත්තු වෙනවා.

 

මුලාශ්‍ර:

Dynamic Range Day (http://dynamicrangeday.co.uk)

The Loudness War: Earl Vickers

Music Machinery: The Loudness War Analyzed

 

 

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka