fbpx

Dynamic Processing : පළමු කොටස – Gates

ශබ්ද පරිපාලනය සරල සිංහලෙන් - Simplified Audio Engineering Lessons for Sinhala Language Readers

Dynamic Processing : පළමු කොටස – Gates

May 14, 2018 Audio Engineering Concepts Dynamics 0

 

 

ශබ්ද පරිපාලනයේදී වඩාත්ම වඩාත්ම වැදගත් වන අංග කිහිපයෙන් එකක් ගැන කතා කරන්නයි මේ සූදානම. ඒ තමයි Dynamics, එනම් ධ්වනි තීව්‍රතාවයේ අඩු වැඩි වීම් සහ ඒවා සංගීත නිර්මාණ ආශ්‍රිත විවිධ කාර්යයන් සඳහා පාලනයක් සහිතව උපයෝගී කරගන්නා ආකාරය. Dynamics යන්නට අදාළ නිල සිංහල යෙදුම වෙන්නේ “ගතිකය”. නමුත් සුලබ ව්‍යවහාරයේ පාවිච්චි වෙන ඉංග්‍රීසි යෙදුම ප්‍රායෝගික භාවිතයේදී වඩාත් පහසුයි.

සංගීත නිර්මාණයක ඇති සංගීත භාණ්ඩ වගේම කටහඬ වලත් මෘදු ලෙස ගායනය/වාදනය වන අවස්ථා සහ වැරෙන් වාදයන/ගායනය කෙරන අවස්ථා තිබෙනවා. සංගීත නිර්මාණයක් වඩාත් රසවත් වීමට උපකාරී මේ අකාරයේ විචලනය වීම් තමයි ශබ්ද පරිපාලනයේදී “ඩයිනැමික්ස්” ලෙස හැඳින්වෙන්නේ. මේ වෙනස්වීම් ශබ්ද පරිපාලක වරයාට දිස්වන්නේ ධ්වනි තීව්‍රතාවයේ වෙනස්වීම්  හැටියටයි. Dynamics අපට අවශ්‍ය ආකාරයට පාලනය කිරීම මගින් විවිධ කාර්යයන් කිරීම සහ සංගීත නිර්මාණ වලට යම් යම් අලංකාර එකතු කිරීම වෙනුවෙන්  නිෂ්පාදනය වුණු උපකරණ ඩයිනැමික් ප්‍රොසෙසර් (Dynamic Processor) ලෙස හැඳින්වෙනවා. ඩයිනැමික් ප්‍රොසෙසර් ගණයේ උපකරණ වල ක්‍රියාකාරීත්වය ගැන කතා කෙරෙන ලිපි පෙළක පළමු වැන්නයි මේ.

 

Dynamic Range

ඩයිනැමික්ස් ගැන කතා කරද්දී සුලභව ඇහෙන යෙදුමක් තමයි Dynamic Range කියන්නේ. සංගීත නිර්මාණයක හෝ කොටසක ඇති වඩාත්ම මෘදු සහ වඩාත්ම වැරෙන් ගායනය/වාදනය කෙරෙන ස්ථාන අතර වෙනස dynamic range ලෙස හැඳින්වෙනවා. තවත් විදියකින් කිව්වොත්, ශබ්දයේ තීව්‍රතාවය ( Sound Level ) අඩුම සහ වැඩිම ස්ථාන අතර වෙනස dynamic range ලෙස හැඳින්වෙනවා.

උදාහරණයක් ලෙස යම්කිසි පටිගත කළ සංගීත ඛණ්ඩයක වඩාත්ම මෘදු ස්ථානයේ තීව්‍රතාවය -14dBFS සහ වඩාත්ම උස් හඬක් ඇති ස්ථානයේ තීව්‍රතාවය -7dBFS ලෙස සටහන් වේ නම් එම සංගීත ඛණ්ඩයේ dynamic range එක 7dB වෙනවා.

 

Microdynamics සහ Macrodynamics

Dynamics වල ස්වරූප දෙකක් දක්නට ලැබෙනවා. ඉන් මයික්‍රෝ-ඩයිනැමික්ස් (Microdynamics) ලෙස හැඳින්වෙන්නේ එක් ස්වරයක් පමණක් වාදනය/ගායනය වන කාල පරාසය තුළ ධ්වනි තීව්‍රතාවයේ සිදුවන වෙනස්වීම්. අපි VST ප්ලගින් එකක එහෙමත් නැතිනම් කීබෝඩ් එකක දකින Attack, Decay, Sustain, Release සැකසුම් වලට අදාළව ස්වරයක පවතින කලාප අයත් වන්නේ microdynamics ගණයටයි.

මෙහි අනෙකුත් ස්වරූපය වන මැක්‍රෝ-ඩයිනැමික්ස් (macrodynamics) ලෙස හැඳින්වෙන්නේ එක් ස්වරයකට වඩා වැඩි කාල පරාසයක් තුළ සිදුවන ධ්වනි තීව්‍රතාවයේ විචාලනය වීම්.

Dynamic processor උපකරණ වලට මේ දෙආකාරයේම විචලනයන් විවිධ ආකාරයෙන් වෙනස්කම් වලට ලක් කිරීම මගින් සංගීත නිර්මාණ වලට විවිධ අලංකාර එකතු කිරීමේ හැකියාව තිබෙනවා.

 

Dynamic Processor පවුලේ සාමාජිකයන්.

Dynamic processor ගණයේ උපකරණ වලින් නිතර දක්නට ලැබෙන්නේ අතළොස්සක් වන නමුත් නිතර කතාබහට ලක් නොවන උපකරණ කිහිපයකුත් ඒ අතර තිබෙනවා.

  • Gates – ගේට්ස්
  • Compressor – කම්ප්‍රෙසර්
  • Limiter – ලිමිටර්
  • Upward Compressor
  • Expander
  • Upward Expander
  • De-esser
  • Maximizer

මේ අතරින් වඩාත්ම සුලබව භාවිතා වන උපකරණ වන්නේ ගේට්ස්, කම්ප්‍රෙසර් සහ ලිමිටර් උපකරණයි.

 

Gates – ගේට්ස්

ඉහත කී උපකරණ අතුරින් මේ ලිපියෙන් කතාබහට ලක් කරන්නේ ගේට්ස් ගැනයි. ඇතැම් අවස්ථා වල නොයිස් ගේට් (Noise Gate) යනුවෙන් හන්දින්වෙන්නෙත් මේ උපකරණය ම තමයි.

සරලව පැහැදිලි කළොත් ගේට් එකක් ක්‍රියාත්මක වෙන්නේ නිවසේ තියන ගේට්ටුවකට ටිකක් සමාන ආකාරයකට. නිවසේ තියන ගේට්ටුවෙන් කෙරෙන්නේ අපිට අවශ්‍ය අයට පමණක් ඇතුලට එන්න අවස්තාව ලබා දීම. ඒ ආකාරයටම  යම් යම් අවස්ථාවල අපිට අවශ්‍ය ශබ්ද පමණක් ඉතිරි කර අනෙකුත් ශබ්ද අපේ ශබ්ද සංකලනයට ඇතුළු වීම අවහිර කරන්නට ගේට් උපකරණයකට හැකියාව තිබෙනවා. මේ ක්‍රියාවලිය සිදුවන්නේ අප විසින් නියම කරන තීව්‍රතාවයකට වඩා පහල තීව්‍රතා සහිත හඬ කපා හැරීම මගින්.

උදාහරණයක් හැටියට ගේට් උපකරණයක සැකසුම් -20dBFS වලට වඩා අඩු තීව්‍රතා සහිත සියලු හඬ කපා හරින ආකාරයට සකසන්න අපිට පුළුවන්. එවැනි අවස්තාවක අපිට ඇහෙන්නේ -20dBFS වලට වඩා වැඩි තීව්‍රතා සහිත හඬවල් පමණයි. වෙනත් විදියකින් කිව්වොත්, ගේට්ටුව විවෘත වන්නේ -20dBFS වලට වඩා වැඩි ශබ්ද සඳහා පමණයි. ශබ්ද සංකලනයකදී අපිට අවශ්‍ය හඬවල් පමණක් තෝරා බේරාගෙන පාවිච්චි කිරීමේ හැකියාව ගේට්ස් හරහා අපිට ලැබෙනවා.

ගේට් උපකරණයක ඇතුළත ක්‍රියාකාරීත්වය. උපුටාගැනීම: Roey Izhaki - Mixing Audio, Concepts, Practices and Tools

ගේට් උපකරණයක ඇතුළත ක්‍රියාකාරීත්වය.
උපුටාගැනීම: Roey Izhaki – Mixing Audio, Concepts, Practices and Tools

ගේට් උපකරණයක සැකසුම් (Settings)

  • Threshold

මේ තමයි ගේට් එකක ප්‍රධාන සැකසුම. මෙයින් පාලනය වන්නේ ගේට් එක මගින් කපා හරින්නේ කුමන මට්ටමකට වඩා අඩු හඬ ද යන්නයි. උදාහරණයක් හැටියට අපි ඉහත විස්තර කළ ආකාරයට -20dBFS වලට වඩා අඩු හඬ කපා හරින්නට නම් threshold අගය -20dBFS ලෙස යෙදිය යුතුයි.

  •  Attack Time

මේ සැකසුමෙන් කියවෙන්නේ අපේ ශබ්ද තරඟය threshold අගය ඉක්මවා යාමෙන්  පසුව, ගේට් එක ශබ්දය කපා හැරීම අවසන් කරන්නේ (ගේට්ටුව විවෘත වන්නේ) කෙතරම් වෙලාවකට පසුද යන්නයි. උදාහරණයක් හැටියට, Threshold අගය -20dBFS සහ Attack time අගය 100ms (miliseconds) යොදා ඇති අවස්ථාවක ශබ්ද තරංගය -20dBFS මට්ටම ඉක්මවා යන මොහොතට මිලි තත්පර 100 කට පසුවයි ගේට් එක  ශබ්දය කපා හැරීම අවසන් කරන්නේ (ගේට්ටුව විවෘත වන්නේ).

  • Release Time

මේ සැකසුමෙන් කියවෙන්නේ ගේට්ටුව විවෘත වී තිබෙන අවස්තාවක (ශබ්ද තරංගය threshold අගයට වඩා ඉහළින් ඇති විට) අපේ ශබ්ද තරඟය threshold අගයට වඩා පහළ යාමෙන්  පසුව, ගේට් එක ශබ්දය කපා හැරීම ආරම්භ කරන්නේ (ගේට්ටුව නැවත වැසෙන්නේ) කෙතරම් වෙලාවකට යන්නයි. උදාහරණයක් හැටියට, Threshold අගය -20dBFS සහ Release time අගය 200ms යොදා ඇති අවස්ථාවක ශබ්ද තරංගය -20dBFS මට්ටමට වඩා පහළ  යාමෙන් මිලි තත්පර 200 කට පසුවයි ගේට් එක නැවත ශබ්දය කපා හැරීම ආරම්භ කරන්නේ ( ගේට්ටුව නැවත වැසෙන්නේ).

  • Hold

Hold සැකසුම යොදාගන්නේ ගේට් උපකරණයේ ගේට්ටුව විවෘත වී තිබෙන අවස්තාවක එය වැසී යාම තවදුරටත් ප්‍රමාද කරන්නට අවශ්‍ය වන අවස්ථා වලදී. උදාහරණයක් හැටියට ඉහත විස්තර කළ ගේට් එකටම Hold අගය 500ms  ලෙස යොදන අවස්තාවක ශබ්ද තරඟය threshold අගයට වඩා පහළ යාමෙන්  පසුව, ගේට් එක ශබ්දය කපා හැරීම ආරම්භ කරන්නේ (ගේට්ටුව නැවත වැසෙන්නේ) hold අගය මගින් කියවෙන මිලිතත්පර 500ක අමතර කාලයකට පසුවයි. ඒ අනුව එවිට hold අගය මගින් කියවෙන මිලිතත්පර 500 සහ release time ලෙස දී ඇති මිලිතත්පර 200ට පසුව තමයි නැවත ගේට්ටුව වැසෙන්නේ.

  • Sidechain Filter

මේ සැකසුම භාවිතා වන්නේ sidechaining භාවිතා කරනා අවස්ථා වලයි. Sidechain යනුවෙන් හැඳින්වෙන්නේ එක් mixing console එකක එක් චැනල් එකකට අදාළ ගේට් හෝ කම්ප්‍රෙසර් එකක් වෙනත් චැනල් එකකට අදාළ ශබ්දය අනුව හැසිරවීමට පාවිච්චි කරන උපක්‍රමයක්. උදාහරණයක් හැටියට බේස් ගිටාරයක් සඳහා යොදා ඇති කම්ප්‍රෙසර්/ගේට් එකක් kick drum එකේ රිද්මයට අනුව පාලනය වීමට මේ උපක්‍රමය භාවිතා වෙනවා. එවැනි අවස්තාවක ගේට් එක තුලට එන පිටස්තර ශබ්ද තරංගයෙන් අවශ්‍ය සංඛ්‍යාත පමණක් වෙන්කර ගැනීමට sidechain filter භාවිතා කළහැකියි. මෙහි ක්‍රියාකාරීත්වය EQ එකකට සමානයි.

  • Hysteresis

Threshold අගය ආසන්නයේ ඉතා විශාල තීව්‍රතා වෙනස්කම් සහිත ශබ්ද තරංග, ගේට් එකක් කුඩා කාලයක් තුල විශාල වාර ගණනක් විවෘත වීමට සහ වැසීමට හේතු වෙනවා. එවැනි අවස්ථා වලදී chattering ලෙස හැඳින්වෙන ශබ්දයේ විකෘති වීමක් ඇතිවිය හැකියි. මීට විසඳුම ලෙස ගේට් එක විවෘත වීමට සහ වැසීමට වෙනස් threshold අගයන් දෙකක් භාවිතා වෙනවා. Hysteresis සැකසුම මගින් දැක්වෙන්නේ ගේට් එක නැවත වැසීම සඳහා වන අමතර threshold අගය, විවෘත වීම සඳහා වන threshold අගයට වඩා ඩෙසිබල් කීයක් අඩු ද යන්නයි. උදාහරණයක් හැටියට  threshold අගය -20dBFS සහ hysteresis අගය 5dB වන අවස්තාවක ශබ්ද තරංගය -20dBFS ඉක්මවූ පසු ගේට් එක විවෘත වන නමුත් නැවත වැසීම ශබ්ද තරංගය -25dBFS දක්වා අඩුවන තෙක් සිදුවන්නේ නැහැ.

  • Range

ගේට් එකක් වසා ඇති විට ශබ්දය කපා හැරීම සිදුවන්නේ එම අවස්ථාවේ ශබ්දය යම්කිසි ප්‍රමාණයකින් අඩු කිරීම මගින්.  Range සැකසුම මගින් කියවෙන්නේ මේ ප්‍රමාණය කුමක්ද යන්නයි. උදාහරණයක් හැටියට Threshold අගය -20dBFS සහ range අගය 60dB ලෙස දී ඇති අවස්තාවක ගේට් එක මගින් -20dBFS මට්ටමට වඩා අඩු ශබ්ද 60dB (ඩෙසිබල් හැටකින්) අඩු කිරීමත්,  -20dBFS මට්ටමට වඩා වැඩි ශබ්ද කිසිදු වෙනස්කමකින් තොරව ගේට් උපකරණය හරහා යන්නට සැලැස්වීමත් සිදු කෙරෙනවා.

 

මේ අතරින් වඩාත් වැදගත් සහ සුලබව දක්නට ලැබෙන සැකසුම් වන්නේ threshold, attack time හා release time අගයන්. අනෙකුත් සැකසුම් ගේට් උපකරණ සෑම එකකම දකින්නට නොමැති විය හැකියි.

 

Gates වල භාවිතයන්

ගේට් එකක එක් සාම්ප්‍රදායික භාවිතාවක් වන්නේ අනවශ්‍ය ඝෝෂාවන් (Noise) අවම කර ගැනීම. මේ හේතුව නිසා තමයි මේ උපකරණය ඇතැම් අවස්ථා වල noise gate ලෙස හැඳින්වෙන්නේ. අපට අවශ්‍ය හඬට වඩා අඩු සහ වටපිටාවේ ඇති ශෝෂා වල මට්ටමට වඩා වැඩි threshold අගයක් යෙදීම මගින් ඝෝෂාවන් අවම කරගැනීමේ හැකියාව තිබෙනවා.  එළිමහනේ සිදුකෙරෙන පටිගත කිරීම් වලදී බාහිර පරිසරයේ ඇති ඝෝෂාවන් හැකිතාක් දුරට අඩු කරගැනීම සඳහා මෙය සුලභව භාවිතා වනවා.

ගේට් උපකරණ වල තවත් වැදගත් භාවිතයක් වන්නේ තාල වාදය භාණ්ඩ වල අවශ්‍ය හඬ පමණක් තෝරා ගැනීම. Drumkit එකක් හෝ වෙනත් තාල වාදය භාණ්ඩ කිහිපයක් එක ළඟ තබා කරන පටිගත කිරීමකදී එක් එක් සංගීත භාණ්ඩය ඊට අදාළ මයික්රෝෆෝනයෙන් පමනක් පටිගත වන්නේ නැහැ. ඒ වෙනුවට එක් මයික්රෝෆොනයකින් ඒ අවට ඇති සංගීත භාණ්ඩ කිහිපයක්ම අඩු වැඩි වශයෙන් පටිගත විය හැකියි. උදාහරණයක් හැටියට drum kit එකක snare drum එක සඳහා යොදන මයික්රෝෆෝනයෙන් kick drum සහ hihat වල හඬ ද පටිගත වීම සුලභ සංසිද්ධියක්. නමුත් snare drum එකට යොදන මයික්රෝෆෝනයෙන් වැඩි තීව්රතාවයක් සහිතව පටිගත වන්නේ ඊට ආසන්නයේම ඇති snare drum එකයි. මෙවැනි අවස්තාවක ගේට් උපකරණයක් යොදා threshold අගය සීරුමාරු කිරීම මගින් snare drum එකට යෙදු මයික්රෝෆෝනයෙන් අනෙකුත් ශබ්ද ඉවත් කර අදාළ ශබ්දය පමණක් ඉතිරි කරගැනීමේ හැකියාව ලැබෙනවා. මීට අමතරව ගේට් උපකරණ සංගීත භාණ්ඩ වල හඬ තරමක් දුරට වෙනස් කිරීම සඳහාත් භාවිතා කළ හැකියි. ඒ attack හා release time සීරුමාරු කිරීම හරහා සවරයක gain envelope වලට බලපෑම් සිදුකිරීම මගින්.

මුල් කාලයේ ගේට්ස් නිෂ්පාදනය වුණේ ඇනලොග් යන්ත්‍ර හැටියටයි. නමුත් අද වනවිට දක්නට ඇති dynamic processors බොහොමයක් අපට ලැබෙන්නේ මෘදුකාංග හැටියටයි. මීළඟ ලිපිය තුලින් තවත් වැදගත් dynamic processing උපකරණයක් වන කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය ගැන කතා කරමු.

DYNAMIC PROCESSING – දෙවන කොටස : කම්ප්‍රෙසර් වල ක්‍රියාකාරීත්වය

 

මුලාශ්‍ර:

Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008)

ProsoundWeb: Noise Gates 101: What They Do & How To Use Them To Their Fullest

Cover Image: Wikipedia

 

 

An audiophile, guitarist and a bassist. Working as a voice-over post producer since 2013, helping dozens of clients and organizations in USA & EU with their online broadcasting and podcasting.

Contact Info:
Email: [email protected] / [email protected]
Phone: +94 770836272
Snail Mail: S-1041, Jandura, Angunakolapalassa, Hambanthota 82220 Sri Lanka