Effects සහ Processors අතර වෙනස

ශබ්ද පරිපාලන කටයුතු සඳහා භාවිතා වන මෙවලම් වර්ග දෙකක් තමයි ඉෆෙක්ට්ස් ( effects – කෙටියෙන් කිව්වොත් FX) සහ ප්‍රොසෙසර් කියන්නෙ. මේ දෙවර්ගය බොහෝවිට භාවිතා වෙන්නෙ වෙනස් කාර්යයන් සඳහායි. ඒ වගේම මේ දෙවර්ගය සාම්ප්‍රදායිකව mixing console එකකට සම්බන්ධ කරන්නෙත් ආකාර දෙකකටයි. මේ කෙටි ලිපිය වෙන්වන්නෙ ඒ වෙනස්කම් වලට හේතු වන කාරණා සහ මේ උපකරණ වර්ග දෙක භාවිතා කෙරෙන එකිනෙකට වෙනස් අවස්ථා ගැන කතා කරන්නටයි.
ප්‍රධාන වෙනස්කම
මේ උපකරණ දෙවර්ගය ප්‍රධාන වශයෙන් වෙනස් වෙන්නේ ඒවාට ලැබෙන ශබ්ද තරංගයට සිදුකරන වෙනස්කමේ ස්වභාවය මතයි.
- Processors – අපි ප්‍රොසෙසර් එකක් භාවිතා කරන්නේ එයට යවන සංඥාව නව සංඥාවක් මගින් ප්‍රතිස්තාපනය (replace) කිරීමට අවශ්‍ය අවස්ථා වලදී. වෙනත් විදියකින් කිව්වොත් මුල් සංඥාව වෙනුවට වෙනස් කළ සංඥාවක් ලබාගන්න අවශ්‍ය අවස්ථා වල ප්‍රොසෙසර් භාවිතා කරන්න පුලුවන්. උදාහරණයක් හැටියට කම්ප්‍රෙසර් එකකින් ඊට ලැබෙන සංඥාව වෙනුවට කම්ප්‍රෙස් කළ සංඥාවක් පිටතට නිකුත් කරනවා. මෙහිදී අපි කම්ප්‍රෙස් නොකළ මුල් සංඥාව අවසාන ශබ්ද සංකලනය සඳහා භාවිතා කරන්නේ නැහැ.
- Effects – ඉෆෙක්ට් එකක් භාවිතා වන්නේ අපට යම්කිසි ශබ්දයක පිටපතකට අලුතෙන් වෙනස්කමක් එකතු කිරීමට අවශ්‍ය වන අවස්ථා වලදී. මෙහිදී මුල් සංඥාව නව සංඥාවක් මගින් ප්‍රතිස්ථාපනය කරනවා වෙනුවට මුල් සංඥාවේ පිටපතකට නව වෙනස්කම් එකතු කිරීම සිදු කෙරෙනවා.උදාහරණයක් හැටියට අපි කටහඬකට reverb එකක් එකතු කිරීමේදී මුල් කටහඬ මුලුමනින්ම වෙනස් කරනවා වෙනුවට සිදුවන්නේ එයට reverb එක එකතු කිරීමයි. මෙහිදී reverb සහිත සංඥාව වගේම reverb රහිත මුල් සංඥාව යන දෙකම අවසාන ශබ්ද සංකලනය සඳහා භාවිතා වනවා.

Effects සහ Processors
(Source: Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008))
ප්‍රොසෙසර් ගැන තවදුරටත්
ප්‍රොසෙසර් එකක් වෙත යන සංඥාව ඒ මගින් ප්‍රතිස්ථාපනය කරන නිසා ප්‍රොසෙසර් එකකට මුල් සංඥාව නැවත ලබාගැනීමේ හැකියාවක් නැහැ. මේ නිසා ප්‍රොසෙසර් භාවිතා වන්නේ ශබ්ද තරංගයක් මුලුමනින්ම වෙනස් කරගැනීමට අවශ්‍ය අවස්ථා වලදී පමණයි. ප්‍රොසෙසර් වලට උදාහරණ හැටියට පහත උපකරණ හඳුන්වා දෙන්න පුලුවන්.
- Equalizers
- Dynamic Processors කාණ්ඩයේ උපකරණ
- Compressors – කම්ප්‍රෙසර්
- Gates – ගේට්ස්
- Limiters – ලිමිටර්
- Expanders
- Duckers
- Distortions
- Pitch Corrector – තාරතාවය නිවැරදි කිරීමේ උපකරණ /මෘදුකාංග
සාමාන්‍යයෙන් mixing console එකකට ප්‍රොසෙසර් එකක් සම්බන්ධ කරන්නේ Inserts කෙවෙණිය හරහායි. මෙහි විශේෂත්වය වන්නේ මික්සර් එකෙන් පිටතට යන හා නැවත පැමිණෙන සංඥා දෙකම එකම කෙවෙණියක් හරහා සම්බන්ධ වීමයි. මේ සඳහා Y splitter කේබල් එකක්, එනම් එක් අන්තයක TRS ජැක් එකක් සහ අනෙක් අන්තයේ TS ජැක් දෙකක් සහිත Y හැඩයේ කේබල් එකක් භාවිතා වනවා. මෙහිදී කේබල් එකේ TRS කෙළවර මික්සර් එකටත් TS කෙළවර දෙකෙන් එකක් ප්‍රොසෙසර් උපකරණයේ එකටත් ඉතිරි කෙළවර එහි එකටත් සම්බන්ධ කරනු ලබනවා. මීට අමතරව ප්‍රොසෙසර් කිහිපයක් දම්වැලක (Daisy chain) ආකාරයට සම්බන්ධ කිරීමටත් හැකියාව තිබෙනවා. පහත රූපයේ දැක්වෙන්නෙ එවැනි අවස්ථාවක්. සමාන්‍යයෙන් Inserts භාවිතා කරන්නේ තනි චැනල් එකකට විතරක් processor එකක් දාන එක. Kick එකට විතරක් compressor එකක් දාගන්න, guitar එකකට distortion effect එකක් දාගන්න වගේ වැඩකට Inserts පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා.

Inserts කෙවෙණියට ප්‍රොසෙසර් කිහිපයක් සම්බන්ධ කරන ආකාරය
ඉෆෙක්ට් ගැන තවදුරටත්
කලින් සඳහන් කළ ආකාරයට ඉෆෙක්ට් එකකින් සිදුවන්නේ මුල් සංඥාවේ පිටපතකට යම්කිසි වෙනස්කම එකතු කිරීමයි. ඒ අනුව ඉෆෙක්ට් එකක් භාවිතා කරන අවස්ථාවකදී මුල් සංඥාව සහ වෙනස් කරන ලද සංඥාව යන දෙකම අවසන් ශබ්ද සංකලනය තුළ අඩංගු වනවා. Effects වලට උදාහරණ හැටියට පහත උපකරණ හඳුන්වා දෙන්න පුලුවන්.
- Reverb
- Delay
- Chorus
- Flanger
- Putch Shifter
- Harmonizer
මීට අමතරව නවීන උපකරණ වල එක් උපකරණයක් තුල ඉෆෙක්ට්ස් විශාල ප්‍රමාණයක් අඩංගු වන අවස්ථාද දක්නට ලැබෙනවා. මෙවැනි උපකරණ multi effects processors ලෙස හැඳින්වෙනවා. Mixing console එකකට ඉෆෙක්ට් එකක් සම්බන්ධ කරන්නේ Aux Outputs හරහායි. මේ හරහා එකම ඉෆෙක්ට් උපකරණයට චැනල් විශාල ප්‍රමාණයකින් එන හඬවල් යැවීමේ හැකියාව තිබෙනවා. මේ ආකාරයට මික්සර් එකෙන් පිටතට යවන සංඥාව නැවත ගෙන්වා ගැනීම සඳහා ඇතැම් මික්සර් වල ඒ සඳහාම වෙන් වූ Aux Return Inputs පවතිනවා. එසේ නොමැති අවස්ථා වල වෙනත් Stereo Input එකක් හෝ එසේත් නොමැති අවස්ථා වල සාමාන්‍ය චැනල් එකක් හෝ භාවිතා කළ හැකියි. කලින් ප්‍රොසෙසර් සම්බන්ධව සඳහන් කළ ආකාරයටම ඉෆෙක්ට්ස් සඳහාත් අමතරව උප්කරණ කිහිපයක් Daisy chain ආකාරයට සම්බන්ධ කිරීමටත් හැකියාව තිබෙනවා.

Aux Outputs සහ Stereo Inputs භාවිතා කර reverb උපකරණයක් සම්බන්ධ කළහැකි ක්‍රමයක්
Dry සහ Wet
විශේෂයෙන්ම effects සම්බන්ධ කරුණු ගැන කතා කරද්දි මේ වචන දෙක සුලබව දකින්නට ලැබෙනවා. සාමාන්‍ය ව්‍යවහාරයේදී dry signal ලෙස හැන්දින්වෙන්නේ ප්‍රොසෙසර් එකක් හෝ ඉෆෙක්ට් එකකින් වෙනස් වීමකට ලක් නොවූ සංඥාවකට. ඒ වගේම wet signal ලෙස හැඳින්වෙන්නේ ප්‍රොසෙසර් එකක් හෝ ඉෆෙක්ට් එකකින් වෙනස් කරන ලද සංඥාවකටයි. බොහෝ ඉෆෙක්ට් උපකරණ වල වගේම ඇතැම් ප්‍රොසෙසර් වලත් Dry සහ Wet සංඥා අතර අනුපාතය තීරණය කිරීම සඳහා පහසුකම් සලසා තිබෙනවා.

Dry/Wet සැකසුම් සහිත reverb මෘදුකාංගයක්
සම්ප්‍රදායෙන් පිටතට යන අවස්ථා
අපි කලින් සඳහන් කළා සාම්ප්‍රදායිකව ප්‍රොසෙසර් එකක් Insert එකක් හැටියටත් ඉෆෙක්ට් එකක් Sends හරහාත් සම්බන්ධ කරන බව. නමුත් එය අනිවාර්යයෙන්ම ඒ ආකාරයට සම්බන්ධ කළයුතු බවට නීතියක් නැහැ. සම්ප්‍රදායට අනුව සම්බන්ධ කිරේම මගින් වඩාත් පහසුවෙන් අවශ්‍ය කාර්යය කරගන්න හැකි වන නමුත් අවශ්‍ය විටෙක ඒට පරිබාහිරව වෙනත් ආකාර වලට සම්බන්ධ කිරීමටත් බාධාවක් නැහැ. එවැනි අවස්ථාවකට උදාහරණයක් තමයි Parallel Compression, නැතිනම් Bus Compression කියන්නේ. මෙහිදී සිදුවන්නේ කම්ප්‍රෙසර් එකක් Insert එකක් ලෙස සම්බන්ධ කරනවා වෙනුවට sends භාවිතයෙන් සම්බන්ධ කිරීම. මෙහිදී කම්ප්‍රෙස් කරන ලද සංඥාව සහ හඬේ ස්වාභාවික විචලනයන් නොවෙනස්ව පවතින මුල් සංඥාව යන දෙකම අවසන් ශබ්ද සංකලනය තුළ තිබීම නිසා ඒ හරහා වඩාත් ගුණාත්මක හඬක් ලබාගත හැකියි.
DAW එකක් තුල FX සහ Processor වල භාවිතාව

DAW එකකට External Hardware සම්බන්ධ කරන ආකාරය
(Source: ask.audio)
DAW එකක් තුළ මෘදුකාංග කොටස් ලෙස පවතින ඉෆෙක්ට්ස් සහ ප්‍රොසෙසර් ඉතාමත් පහසුවෙන් Inserts හෝ Sends හරහා එකතු කරගැනීමේ හැකියව තිබෙනවා. නමුත් මෙහිදීත් බහුලව සිදුවන්නේ අපි කලින් සඳහන් කළ සම්ප්‍රදායට අනුව ප්‍රොසෙසර් Inserts හරහාත්, ඉෆෙක්ට්ස් Sends හරහාත් එකතු කරගැණීමයි. මෘදුකාංග වලට අමතරව DAW එකකට පිටස්තර ඉෆෙක්ට් උපකරණ හෝ ප්‍රොසෙසර් (External Hardware FX/Processors) ද සම්බන්ධ කරගත හැකියි. මේ ආකාරයට උපකරණ සම්බන්ධ කිරීමේදී Audio Interface එකක ප්‍රධාන stereo out එකට අමතරව ඇති අනෙකුත් outputs හරහා සංඥාව උපකරණය වෙත යැවීමත් audio interface එකෙහි ඇති line inputs හරහා නැවත ගෙන්වාගැනීමත් සිදු වනවා.
Sources & Additional Reading:
- Roey Izhaki: Mixing Audio – Concepts Practices & Tools (2008)
- Sound On Sound – Effects: All You Need To Know… And A Little Bit More
- Sound On Sound – Parallel Compression – The Real Benefits
Cover Image: rupertneve.com
Audio Engineering audio mastering Audio Mixing music production Sinhala Sri Lanka ශබ්ද පරිපාලනය සිංහල